Monday, July 30, 2018

පන්සිල් සුරකිමු


පන්සිල් සුරකිමු

                                    

                                               

ශීලය කිව්වහම කොටස්‌ හතරකට බෙදනවා. ප්‍රාතිමොක්‌ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ආජීව පාරිශුද්ධ ශීලය, ප්‍රත්‍ය සන්නිශ්‍රිත සීලය, කියලා. මේ හතර එකක්‌ එකකට පටිබද්ධවයි තියෙන්නේ. එකක්‌ එකකට සම්බන්ධවයි තියන්නේ. සීලය විස්‌තර කරනවා නම් අති විශාල ප්‍රදේශයක්‌ තියෙනවා විස්‌තර කරන්න. ප්‍රාතිමොක්‌ෂ සංවර සීලය කියලා කියන කොට උපසම්පදා ස්‌වාමීන් වහන්සේ නමකට උපසම්පදා සීලය, සාමණේර ස්‌වාමීන්වහන්සේට සාමණේර දස සීලය, ගිහි පිංවතුන්ට නවාංග උපෝසථ සීලය, අෂ්ඨාංග උපෝසථ සීලය සහ නිත්‍ය පන්සිල් කියන ටික අයිති වෙනවා. ප්‍රාතිමොක්‌ෂ සංවර සීලය නිවනට පමුණුවන සීලය හැටියටයි හඳුන්වන්නේ. 
එතකොට මේ ප්‍රාතිමොක්‌ෂ සංවර සීලය අපි පන්සිල් කියන තැනින් ම ගනිමු කෝ. ඒ කියන්නේ පන්සිල් තියෙන කෙනාටත් පුළුවන් කිව්වහම, ඊට එහා කෙනාට කොහොමත් පුළුවන්. ඒ ගැන එතකොට විවාදයක්‌ නැහැ. නැත්තම් මේ දහම ඔරොත්තු දෙන්නේ, දහමේ හැසිරෙන්න පුළුවන්කම තියන්නේ, උපසම්පදා සීලයක්‌ තියෙන කෙනකුට විතරයි කිව්වොත් ගිහි අයට බෑ කිව්වොත්, "අනේ අපට බෑ" කියලා අත අරිනවා. "පන්සිල් රකින කෙනාටත් පුළුවන්" කිව්වොත් උපසම්පදා සීලයක්‌ හෝ තියන ස්‌වාමීන් වහන්සේ නමකට අමුතුවෙන් කිව යුතු දෙයක්‌ නෑ නේ ද? ඒ නිසයි පන්සිල් කියන තැනින් බුදුරජාණන් වහන්සේ පෙන්නුවේ - මේ හැමෝට ම එන්න පුළුවන් විදිහට. 

හැබැයි මෙතැන දී විශේෂ කරුණක්‌ තියනවා. මේ පන්සිල් ටික, මේ ප්‍රාතිමොක්‌ෂ සංවර ශීලය ටිකක්‌ වෙනස්‌. මොකද මේ පන්සිල් බුදුරජාණන් වහන්සේ ලෝකයේ පහළ වෙන්න ඉස්‌සර වෙලාත් තිබුණා. බමුණු යුගයේත් තිබුණා. අදත් තියනවා. මොකක්‌ ද එදා පන්සිල්වලයි අද පන්සිල්වලයි වෙනස? බුදුරජාණන් වහන්සේ ලෝකයේ පහළ වෙන්න ඉස්‌සර වෙලා පාණාතිපාතාවේරමණී, අදින්නාදානා වේරමණී, කාමේසුමිච්ඡාචාරා වේරමණී. අදත් පානාතිපාතා වේරමණී, අදින්නාදානා වේරමණී, කාමේසුමිච්ඡාචාරා වේරමණී, - මේක කරන්නේ නෑ කියන තැනකිනුයි සමාදන් වෙන්නේ. දැන් එදා සීලයත් අද සීලයත් අතර වෙනස මොකක්‌ ද? අපි බොහෝ දෙනෙකු ගෙන් ඇහුව ම බොහෝ දෙනෙක්‌ මතක්‌ කරනවා අපේ පන්සිල් තිසරණ සහිතයි. තිසරණ සහිත පංච සීලයක්‌ නිසයි මේක බෞද්ධ. බෞද්ධයාට අයිති තිසරණ සහිත පංච සීලයයි කියලා. නමුත් මෙතැන දී හිතන්න ඕනේ. අපි බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමී කියලා තුනුරුවන් සරණ යනවා. මේ තුනුරුවන් සරණ ගිහින් පන්සිල් රකින එකේ දී පන්සිල්වලට වෙච්ච විශේෂත්වයත් සිල්පද ටිකට වෙච්ච විශේෂත්වයත් මොකක්‌ ද? මොකක්‌ හරි විශේෂත්වයක්‌ සිල් පද ටිකට වෙන්න ඕන නේ ද? නැත්නම් අපි වෙන ම තුනුරුවන් සරණ ගිහිල්ලා එදා තියෙන පන්සිල් අර අය රකින විදිහට ම අපිත් රකිනව නම්, ඒ විදියට ම නම් දර්ශනය දැකීම, අපිත් කරන්නේ ඒ විදිහට නම්, තිසරණගත වුණා කියලා සිල්වලට මුකුත් වෙන්නේ නැහැ. 

නමුත් එදා තිබුණු පන්සිල්වලට වඩා අද පන්සිල්වල තියෙන වෙනස මොකක්‌ ද? මෙන්ත මෙතැනයි අපට වටින්නේ. මෙතැන දී මේ සීලය පිළිබඳ දර්ශනයක්‌ තියෙනවා එයාට. දර්ශනයක්‌ තියෙන්න ඕන. තිසරණගත වීමෙන් එයාට ඒ ටික ලැබෙන්න ඕන. මොකක්‌ ද? මෙය දැනගෙන ඉන්න ඕන. අපි කියමු දැන් ඉස්‌සර (බමුණු යුගයේ) සත්තු මරන්නේ නෑ කියලා සිල් පදේ සමාදන් වෙනවා. බැරි වෙලා එම සිල් පදේ කැඩුණොත් ආයෙත් සමාදන් වෙනවා මිසක වෙන දෙයක්‌ දන්නේ නැහැ. බමුණු යුගයේ ආයේ සිල්පද සමාදන් වෙනවා. බැරි වීමකින් හරි කැඩුණොත්, හොරකම් කළොත්, ආපසු ඒක සමාදන් වෙනවා මිසක ඊට එහා යමක්‌ දන්නේ නැහැ. 
නමුත් මේ ශාසනය ඊට වඩා ගොඩක්‌ වෙනස්‌. ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්න පුළුවන් එකක්‌ ද නැද්ද? පුළුවන්. ආර්ය අෂ්ටාංගික මාර්ගය සීල, සමාධි, ප්‍රඥ නේ. සීල, සමාධි, ප්‍රඥ වඩන්න පුළුවන් ද? පුළුවන් නේ. එහෙනම් සීලයත් වඩන්න පුළුවන් එකක්‌. මේ ශාසනයේ සීලයත් වඩන්න පුළුවන් එකක්‌. අන්න ඒකයි මේකේ තියෙන වෙනස. දැන් සත්තු මරන්නේ නෑ කියන සිල් පදේ සමාදන් වෙනවා. කැඩෙනවා. කැඩුණහම ආයත් සමාදන් වෙනවා. ඒකේ වඩන්න මොකුත් තියෙනව ද? නෑ. නමුත් මෙතැන තියෙන සිල්පදේ වෙනස තමයි මේ සීලය වඩන්න පුළුවන් වීම. ඒකට කියනවා පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතෝ හෝති. මේ ශාසනයේ සිල්පදේ විස්‌තර කරන්නේ මෙහෙමයි. අදින්නාදානං පහාය අදින්නාදානා පටිවිරතෝ හෝති. සතුන් මරන්නේ නැහැ. ඒ විතරක්‌ නො වෙයි. සතුන් මැරීමෙන් වළකිනවා. ඒ විතරක්‌ නො වෙයි. පටිවිරතෝ හොති. නැවත සතුන් මරන්න තියෙන හේතුව ද නැති කරනවා. හෙට දවසේ දී සතුන් මරන්න තියෙන හේතුව ද නැති කරනවා කියන තැන දී හික්‌මෙන්න පුළුවන් ශාසනයක්‌ මේක. ඒ කියන්නේ හෙට දවසේ දී කෙරෙන වැරැද්ද පවා නැති කරන්න පුළුවන් තැනකින් මේ ශාසනේ ශීලය තියෙන්නේ. ඒක අපි ටිකක්‌ විස්‌තර කරමු. 

ඒ කියන්නේ, තව පැත්තකින් ගත්තහම, මෙයා දන්නවා දුස්‌සීල බව කියන්නේ මොකක්‌ ද? දුස්‌සීල බව ඇති වන්නේ කොහොම ද? සිල්වත් බව කියන්නේ මොකක්‌ ද? සිල්වත් බව ඇති වන්නේ කොහොම ද? කියලා. මේ හතර ම දන්නවා. බෞද්ධ කෙනෙක්‌ තුනුරුවන් සරණ යැමෙන් මේ සිල් ටිකේ ඇති වෙච්චි වෙනස තමයි ඒක. අරයා ඒවා මොකුත් දන්නේ නැහැ. සිල් පද පහ රකින්න විතරයි දන්නේ. කැඩුණොත් ආයෙ සමාදන් වෙන්න විතරයි දන්නේ. මෙයා එහෙම නෑ. සිල්පද පහ සමාදන් වෙනවා. රකිනවා. මේක රැකෙන්නේ කොහොම ද? දුස්‌සීල බව කියන්නේ මොකක්‌ ද? ඒ දුස්‌සීල බව, ඇති වන්නේ කොහොම ද? නැත්නම් සිල්පද නො රැකෙන්නේ කුමක්‌ නිසා ද කියන හේතු ටික දන්නවා. මෙයා හොරකමක්‌ කරන්නේ නැහැ. කාමයෙහි වරදවා හැසිරෙන්නේ නැහැ. සතුන් මරන්නේ නැහැ. මේවා සිල්වත් බව කියලා දන්නවා. මේ සිල්වත් බව ඇති වන්නේ මොකක්‌ නිසා ද කියලත් මෙයා දන්නවා. මොකක්‌ ද හේතුව? එයා දන්නවා හිත කියලා. මොකක්‌ ද හිත? අලෝභ, අදෝෂ, අමෝහ කියන කුසල හිතයි කියලා දන්නවා. 

හොරකම් කරන, සතුන් මරන, කාමයෙහි වරදවා හැසිරෙන ආදි වශයෙන් කියන මේවා තමයි දුස්‌සීල බව කියලා එයා දන්නවා. දුස්‌සීල බවට හේතුවත් දන්නවා. මොකක්‌ ද? "හිත" කියලා දන්නවා. මොකක්‌ ද හිත? ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල් හිතයි කියලා දන්නවා. මොක ද ද්වේෂ සිත උත්සන්න වුණහමයි සතුන් මරන්නේ, ප්‍රාණඝාතය වෙන්නේ. ලෝභ සිත උත්සන්න වුණහමයි අනුන් ගේ දේ ගන්නේ, කාමයෙහි වරදවා හැසිරෙන්නේ කියන දේ වෙන්නේ. එතකොට ද්වේෂ සිත උත්සන්න වුණහමයි කේලාම් කියනවා වගේ දේවල් වෙන්නේ කියලා. මේ අකුසල ටික බෙදෙනවා අකුසල මුල්වලට. හිත් වලට. ඒ ඒ හිත් නිසයි ඒ ඒ සීලය කැඩෙන්නේ. මෙයා දන්නවා ලෝභ, ද්වේෂ, මෝහ කියන සිත් උපදින විදිහට කටයුතු කරලා, සිත් ඇති වෙන විදිහට කටයුතු කරමින් කවර දා වත් මේ සීලය රකින්න බෑ කියලා. යම් තැනක ලෝභ, ද්වේෂ, මෝහ කියන සිත් උපදින විදිහට කටයුතු කරලා සිත් ඇති වන විදිහට කටයුතු කරමින් කවර දා වත් මේ සීලය රකින්න බැහැ, අමාරුයි කියලා මෙයා හොඳට දන්නවා. රැක්‌ක ද ඒක පිරිසිදු නැහැ. 

ඊට පස්‌සේ යම් තැනක ලෝභ, ද්වේෂ, මෝහ සිත නැති කරලා අලෝභ, අදේවේෂ, අමෝහ කියන කුසල් සිත් ඇති වෙන විදිහට කටයුතු කළා ම, ඉබේමයි මේ සීලය කියන එක රැකෙන්නේ කියන එක මෙයා දන්නවා. සීලය කියන එක රකින්න එයා අමුතු දෙයක්‌ වත් කය වචනය දෙකින් දකින්නේ නැහැ. එයා හිත රැකීම සහ නො රැකීම කියන තැන දක්‌වා ම හේතුව දැනගෙන, දැකගෙන තියනවා. දැන් ප්‍රාතිමෝක්‍ෂ සංවර සීලයෙන් සංවර වෙන කෙනා සීලයත්, සීලයට හේතුවත්, දුස්‌සීල බවත්, දුස්‌සීල බවට හේතුවත් දන්නවා. එහෙම දැනගෙන ඒ විදිහට කටයුතු කරනවා. ඒ විදිහට හිත රැකගත්තොත් සීලය රැකෙනවා. හිත රැකුණේ නැත්නම්, බැරි වෙලා හරි සීලය කැඩුණොත්, එයා මොකද කරන්නේ? එයා දන්නවා සිල් පදය සමාදන් වෙනවා විතරක්‌ නො වෙයි, මම හිත පරිස්‌සම් කරගත්තේ නැති නිසයි කැඩුණේ. මීට පස්‌සේ මම එහෙම කරන්නේ නෑ කියන තැනින් හිත රකිනවා. ඒ හින්දා ලොකු රැකවරණයක්‌ මේකට ලැබෙනවා. 

දැන් ඒ දර්ශනය හදිසියේ නැති වුණොත්, සීලයත්, සීලයේ ඇති වීමත්, දුස්‌සීල බවත්, දුස්‌සීල බවේ ඇති වීමත්, කියන කාරණාව ඔය වචන ටිකෙන්, ඔය පර්යායෙන් නො කියා, ඉන්ද්‍රිය සංවර සීලය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊට පස්‌සේ මේ ඉන්ද්‍රිය සංවර සීලය රැක්‌කොත් තමයි ප්‍රාතිමොක්‌ෂ සීලය රැකෙන්නේ. අප සිල්වත් වුණාට, සතර සංවර සීලය ම එකට බැඳිලා තියෙන බවත්, සීලය කියන එක පවතින්නේ එකට ගෙතුණොත් බවත් දන්නේ නැහැ. ඒ හින්දයි අපට සීලය කියන එක හරියට කය, වචන දෙක සංවර වෙලා හිත සමාධි වෙන විදිහට රකින්න බැරි වෙලා තියන්නේ.

No comments:

Post a Comment

සන්නාලියනේ .....

                                                                          සන්නාලියනේ ..... ජීවිතයේ අපි කවදා කොහේ නවතීවිදැයි කිව නොහැක...