Sunday, July 15, 2018

හන්තාන සිහිනය ..

හන්තානට පායන හඳ 
ලස්සනයිද කියන්න
මා නොදකින ඒ පුරහඳ
ඔබට හැකිය දකින්න

අඳුරු ලලා වහිනා කල
සරසවි බිම තෙමෙන්න
කුඬේ යටින් ඔබ යනවිට
එපා තනිය දැනෙන්න

ලතා මඩුලු අත වනාවි 
එපා අහක බලන්න
මා ගැන මතකය ගුලිකර 
මහවැලියට දමන්න 




එහි පද රචනය සිදුකළේ ධම්මික බණ්ඩාර ශූරින් විසිනි. එම ගීතය ගායනා කරන්නේ අප කවුරුත් හොදින් හදුනන අමරසිරි පීරිස් ශූරීන් විසිනි. ධම්මික බණ්ඩාරයන් හට මුලික වශයෙන් මෙම පදපෙල නිර්මාණය කිරීමට හේතු වූ නිධන් කථාවක් ඇත. එම කථාව තුලදී එක් තරුණියක් හා තරුණයෙක් පාසල් යන කාලයේ සිට ආදර සම්බන්ධතාවයක් ඇතිකරගෙන සිටි. ඔවුන් දෙදෙනාම එකට ධම්මික බණ්ඩාරයන්ගේ සිංහල පංතියට පැමිණි වැඩිදුර අධ්‍යාපනය උසස් පෙළ සඳහා ලබා ගත්හ. මේ කාලයේදී ඒ දෙදෙනා අතර ආදර සම්බන්ධයක් වූ අතර දෙදෙනාම එකට අධ්‍යාපනය ලබන අතර නිහඩව ප්‍රේම කරන බව ධම්මික බණ්ඩාර ගුරුවරයාද දැන සිටියේය. ඔවුන් දෙදෙනාම උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි අතර ඉන් පසු විභාගයේ ප්‍රතිඵල පැමිණියේය. නමුත් ඉතා අවාසනාවන්ත ලෙස එම තරුණිය පමනක් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා තිබු අතර එම තරුණයාට ඊට වාසනාවක් හිමිවුයේ නැත. පෙම්වතුන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු පමණක් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබුවහොත් එම ආදර සම්බන්ධතාවය ඉන් බිදවැටෙන බව සමාජ මතයයි. මෙම තරුණයාටද ඉන් පසුව එවන් සිතුවිලි ගණනාවක් සිත තුළ නලියන්නට වු අතර ඔහු ඇගෙන් ඇත් වෙන්නට වුයේ දෙදෙනාගේම ජීවිත වලට යහපතක් වේ යැයි සිතාය. මේ සිදුවීම පිළිබඳව පසුව තරුණයා හමුවූ මොහොතක දැනගත් ධම්මික බණ්ඩාරයන් විසින් මෙය ගී පදවැලක් ලෙස නිර්මාණය කළේය.
එම තරුණයාගේ සිතේ කැකැරෙමින් තිබු සියලු සිතුවිලි පද පේලිවලට ගොනුකරමින් නිර්මාණය කිරීමට ධම්මික බණ්ඩාරයන්ට හැකිවිය. එදා කවින්ගේ ආභාෂය ලබා ගනිමින් එම සිදුවීම ව්‍යංගාර්ථ, උපමා, රූපක යොදගනිමින් හදවතට දැනෙන අයුරින් ඉදරිපත් කිරීමට ඔහුට හැකි වී ඇත. එසේ ගී පදවලට තනුවක් සදා එය ගීතයක් බවට පත්කළ ඔහු එය හිතට කාවදින ලෙස ගායනා කිරීම සඳහා සුදුසුම ගායකයා තෝරාගත්තේය. ඒ අමරසිරි පීරිස් ශූරින්ය. ඔහු විසින් රසික හදවතට දැනෙන පරිදි ප්‍රේමවන්තයින්ගේ ආදර අන්දර වලට ගොනුකිරිමට තරම් දක්ෂ වුයේය. වර්තමානය වනවිට මෙම ගීතය සරසවි සිසුන් අතර වඩාත් ජනප්‍රිය ගීතයක් බවට පත් වී හමාරය. මෙම ගීතය නම් , හන්තානට පායන හද, නම් වු පේරාදෙණිය සරසවිය අලලා නිර්මාණය වූ ගීතයකි. 
පේරාදෙණිය සරසවියේ ස්වභාව සෞන්දර්යය අලලා සෞන්දර්යෙන් වට වු මනස්කාන්ත පරිසරයෙකින් හෙබි භූමි ප්‍රදේශයකින් යුත්ත වූවකි. ධම්මික බණ්ඩාරයන් විසින් මෙම ගීත නිර්මාණය සඳහා යොදගනු ලැබුවේ එබදු මනස්කාන්ත පරිසරයකි. පේරාදෙණිය සරසවිය කියන විටත් හන්තාන කන්දයි. සරසවි විද්‍යාර්ථියෙකු ලෙස අප සරසවි ජීවිතයේ එක් වරක් හෝ හන්තාන කඳු මුදුනේ සිසිල විදගන්නට යන්නේය. සෙංකඩගල නුවර මනස්කාන්ත කදු පංති වලින් වට වූ භුමි ප්‍රදේශයේ හන්තාන කන්ද යනු ඉතා රමණීය කදු වලල්ලකි. එය ජීවිතයේ එක් වතාවක් හෝ තරණය කළ කෙනෙකුට තමාගේ ජීවිතයේ විදිය හැකි සුන්දරම අත්දැකීම එයවන නොඅනුමානය. සුදු මිදුම් වලාවන්ගෙන් වසාගත් හන්තාන කදු මුදුන බැලුබැලු අත ලොකු මානාගස් වලින් වෙලාගෙන ඇත. මීදුම් වළලු මු`ඵ කන්දම සිපගෙන සිටින අතර එම අසිරිය විද ගැනීමට හැකි වන්නේ ජීවිතයේ ඉතා සීමිත පිරිසකට පමණි. පේරාදෙණිය සරසවියද ඇතුළත් වූ එම තරුණිය හට තරුණයා මුලින්ම අසන්නේ මෙබදු ප්‍රශ්ණයකි. ඒ ,හන්තානට පායන හද ලස්සනයිද - මට ඒ පුරහද බලන්න වාසනාවක් අවස්ථාවක් නැතිවුනත් ඔබට ඒ වාසනාව ලැබිලා තියෙනවා. ඉතින් පේරාදෙණිය සරසවියේ විස්තර කොහොමද? , ආදී ආකාරයේ එම තරුණයාගේ සිතට නැගෙන්නා වු සිතුවිලි රාශියක් එක්වරම මුදාහරින්නේ එසේය. 
පේරාදෙණිය සරසවියේ ඇති සුන්දරත්වය වචනවලින් කියා නිමකළ නොහැකි තරම් තණකොළ අතුරු ඇති බිම්ය. බැලු බැලු ඇත විශාල ගස් වලින් සරසවි භුමිය වේලාගෙන ඇත. එම ගස්වල, වැල්වල මල් පිපෙන කාලයට එය මල් වත්තකට නොදැවෙනි වේ. එය පෙම්වතුන්ගේ රාජධාණියෙකි. ඉතින් මේ තරුණයා පෙම්වතෙකු ලෙස තම සිතෙහි සිරකරගෙන සිටි සියලුම ආවේශයන් පිටකරන්නේ එලෙසෙනි. නමුත් ඔහු ඇයව නතර කරන්නේ නැත. ඔහු විසින් ඇයට ඒ ජීවිතය විද ගැනීමට අවස්ථාව ලබාදෙයි. එසේම තරුණියගේ ජීවිතයේ සතුට ලබා දි ඔහු ඇගෙන් ඇත් වේ. ඔවුන් දෙදෙනා බලාපොරොත්තු වුයේ දෙදෙනාම එකම සරසවියක පියමං කරන්නටය. නමුත් ඔවුන්ට එම වාසනාව ලැබුනේ නැත. ඔවුන්ගේ ප්‍රේම කාතාන්දරය ඔහු මෙලස අවසන් කරනු ලබයි. 
පේරාදෙණිය සරසවිය යනු පෙම්වතුන්ගේ රාජධාණියෙකි. එහි තනිවී සිටින තරුණයෙක්, තරුණයෙක් නැති තරම්ය. මෙවැනි තත්ත්වයක් මත තම පෙම්වතිය තනිවම එම සරසවියට පියමං කරයි. ඇය ඔහුව ඇතහැර නොයන්නට ඇති. නමුත් ඔහු විසින් සියලු යථාර්තයන් තේරුම් ගනිමින් ඒ නිදහස් ජීවිතය විදින්නට ඇයට අවස්ථාව ලබා දෙනු ඇත. අදුරු ලලා යනු කුඩා වැහි බිංදුයි. හිරිපොද වැස්සක පෙම්වතුන් තුරුල් වී යන දසුන් සරසවි බිම්වල මෙන්ම සාමාන්‍ය සමාජයේදී බහුලව  සිදුවන දෙයකි. පෙම්වතා විසින් තම පෙම්වතියට පවසන්නේද එවැනිම සිදුවිමකි. හිරිපොද වැහි සරසවි භූමිය සිපගනිද්දි, අනෙක් පෙම්වතුන් කුඬේ යට තුරුළු වෙලා යද්දී, එපා ඔබ විතරක් තනියම යන්න’ ඔබට ඒ තනිකම දැනෙන්න එපා’යැයි තරුණයා විසින් ප්‍රාර්ථනා කරනු ලබයි අප ජීවිතයේ අනෙකුත් පෙම්වවතුන් ආදරයෙන් පෙම්බස් දොඩවමින් සිටින විට තම පෙම්වතා තමා ලග නොමැති බ්වේ තනිකම ඇයට දැනෙන්නට ඉඩ ඇති බව වටහා ගත් ඔහු විසින් ඇයට පවසන්නේ ඔබ සරසවිය තුල තනිවී සිටින්නට එපා කියාය. ඔබගේ තනිකම මකන්නට හැකි කෙනෙකුන් ඔබට හමු වේවායැයි ඔහු විසින් ප්‍රර්ථනා කරනු ලබයි.
මෙය එක් ප්‍රේමවන්තයකුගේ ප්‍රර්ථනාවකි. සරසවි භුමියේ තනියම සිටින තරුණියක ලෙස ඇයගේ තනිකම මකන්නට තමාටම වැඩිය හොද ප්‍රේමවන්තයෙක් හමු වේවා යැයි ඔහු ප්‍රර්ථනා කරන්නේ සියලු වේදනාවන් සිතේ කැටිකරගෙනය. ඒ වේදනාව, ඒ විරහව ගීතයකට පෙරලන ධම්මික බණ්ඩාරයන් විසින් අනුකම්පික ලෙස මෙහි පදවැල් නිර්මාණය කර ඇත. ලතා මඩු`ඵ, මල් ගොමු යනු පෙම්වතුන්ගේ පෙම් පාරාදීසයෙහි අංගයන්ය. පෙම්වතුන් රුක්ගොමුවල ආදරයෙන් වෙලී සිටියදී ඔබටත් එවැනි තරුණයන්ගෙන් ආයාචනා ලැබෙන බවත් ඒවාට පිටුපා නොයා හොද ආදරවන්තයෙකු සමඟ එය ආදරය විදින ලෙසත් ඔහු විසින් ඇයට පවසයි. පේරාදෙනි සරසවිය අසලින් ගලා යන මහවැලි ගඟ පෙම්වතුන්ගේ ආදර අන්දර වලට හොදම සාක්ෂිය දෙනු ඇත. , ඔබ වෙනත් කෙනෙකුට ආදරය කර අප දෙදෙනාගේ සිය`ඵ මතකයන් අපගේ ආදර කතාවේ සියලු සංධිස්ථාන, මාගේ මතකයන් සියල්ලම මහවැලි ගඟට දමන්න , යැයි මහත්වූ ආයාචනයක් සිදු කරයි. ඔහුගේ එම ආයාචනය තූලින් බලාපොරොත්තු වන්නේ ඔහුගේ මතකයන් සදහටම ඇගේ හිතින් ඉවත් කර දමන ලෙසයි. තම පෙම්වතිය සරසවියට ගිය පසු බොහෝ පෙම්වතුන්ට සිදුවන්නේ විරහ වේදනාවෙන් දුක් විදීමටයි.  නමුත් ඇය එසේ නොවිය හැකිය. ඇය පනමෙන් ඇයට ආදරය කරනවා විය හැකිය. නමුත් වෙනදා මෙන් ඇය ළඟින් බැදී සිටිමට නොහැකිවන බව ඔහු හොදින්ම දනී. ඒ නිසා ඔහු විසින් සියලු යථාර්ථයන් හොදින් වටහා ගනු ලබයි. ඒ තුළින් ඔහු සිතන්නේ ඇගේ ජීවිතය ලස්සන කිරිමට පමණි. එම නිසා ඔහු පවසන්නේ මට ඔබත් සමඟ එකම සරසවියකට එකට පියමං කරන්න බැරි බවත්, බොහෝ අවස්ථාවලදී ඔබට මම නැතිව තනිකම, පාලුව දැනෙනු ඇතයි යනුවෙනි. ඒ අතර ඔබට තවත් ආදර ඇරයුම් ලැබෙයි. නමුත් ඔබ සරසවිය තුළ තනිකමෙන් සිටින්න එපා. ඔබට හොද ජිවිතයක් ගතකරන්න පු`ඵවන්, මගේ සියලු මතකයන් අයීතින් ඉවත් කර ඔබ අලුතින් ජීවිතය පටන්ගන්න යනුවෙන් ඔහුගේ එකම ප්‍රාර්ථනය වී ඇත. 
මෙය ඉතා අපුර්ව වූ වේදනාකාරී වූ සිදුවිමකි. මෙම සිදුවීම අලලා ධම්මික බණ්ඩාරයන් හදවතට වඩාත් හොදින් දැනෙන පරිදි මේ ගීතයට පදවැලි එක් කරන්නට විය. මෙහිදී සෞන්දර්යාත්මක වශයෙන් නිර්මාණාත්මක වශයෙන් මෙය ඉතා උසස් නිර්මාණයක් යැයි සැලකීම වටිනේය. මෙහි ව්‍යංගාර්ථ මගින් ඔහු තරුණියට පවසන්නට හදන සියලු දේ උපමා රූපක විවිධ පද සංධිස්ථානයන් තුලින් මනාව නිරූපනයක කර ඇත. මෙහීදි පේරාදෙණිය සරසවිය තුල ඇති අලංකාරය වඩාත් හොදින් ඉස්මතු කර දැක්වීම සදහා ඉතා අලංකාර සිදුවීම් පෙළක් භාවිතා කර ඇත. පෙම්වතුන්ගේ පෙම් පාරදීසයක් ලෙස හැගවීම සදහා ඉතා අලංකාර සෞන්දර්යාත්මක සිතුවිලි බොහෝ සෙයින් භාව,හන්තානට පායන හද, ආදී ආකාරයට රසික හදවත් තුළ චිත්ත රූප මැවෙන ආකාරයෙන් ඒ ඒ අවස්ථාවන් ඉදිරිපත් කර ඇත. පේරාදෙණිය සරසවියට පුරහද පායා ඇතිවිට ඒ රාත්‍රිය කොතරම් මනහරද? ඒ අලංකාරය ගී පදවලට එක් කළ ධම්මික බණ්ඩාරයන් විසින් ,අඳුරු ලලා වැටෙනා කල සරසවි බිම තෙමෙන්න, යනුවෙන් අදහස් කරනු ලැබුවේ හිරිපොද වැස්ස වහින විට තනියම කුඩය යට නොයා ආදරවන්තයෙකු සොයාගන්නා ලෙස ඔහු ඇයට සිදුකරන ඉල්ලීම එක එල්ලේම නොකියා ඉතා අලංකාරව සෞන්දර්යාත්මක බවින් පැවසීමටය. මෙතුලින් පරිසරය පිළිබඳව, ස්වභාව සෞන්දර්ය පිළිබඳව අපුර්ව චිත්ත රූප මවන්නටද ධම්මික බණ්ඩාරයන්ට හැකි වී ඇත. ඉහත කාරණාව සෘජුවම පවසන්නට තිබුණි. නමුත් ඔහු ඔහුගේ තිබු නිර්මාණාත්ම හැකියාව භාවිතා කරමින් එය සෞන්දර්යාත්මකව ගීතයට නගා ඇත.
                ගීතය වු කලි රසික හදවත් තුළ යම් වෙනසක් ඇති කරමින් විටෙක රසික හදවත් සසල කිරිමටත්, විටෙක රසික හදවත් අමන්දානන්දයට පත් කිරීමටත් සමත් වන්නකි. නමුත් ගී පද රචකයාගේ කාව්‍යමය දක්ෂතාවය මත එම ගීතයේ අර්ථවත් බව රදා පවතී. මෙම ගීතය වූ කලී රසික හදවත් වල ප්‍රේමවන්තයන් තුළ බොහෝ සරසවි සිසුන් තුල විරහ වේදනාවෙහි තත්ත්වය අමුතු පැතිකඩකින් දනවන්නට තරම් සමත් වූවකි. එය නිර්මාණකරුගේ දක්‍ෂතාවයයි. ඔහු එම ප්‍රේමවන්තයින් දෙදෙනාගේ එම සිදුවීම එක එල්ලේම ගීතයට නැගුවේ නැත. ඉතා අලංකාර ලෙස උපමා රූපක, අලංකාර වචන භාවිතයෙන්, ව්‍යංගාර්ථ තුලින් ඉදිරිපත් කරනු ලබයි. අදවන විට එම ගීතය ගීතලෝලින් අතර ඉතා ජනප්‍රිය අර්ථවත් ගීතයක් බවට පත් වී ඇත. වර්තමානයේ ඇති අර්ථ ශූන්‍ය ගී අතරින් මෙම ගීතය අගය කළ හැකි ඉතා විශිෂ්ඨ ගීතයක් ලෙස නිතැනින්ම අගය කළ හැකිය. වර්තමානයේ ගීත තුළ කිසිම අර්ථවත් බවක් නැත. එම ගීත තුළ ඇත්තේ පුස් අර්ථයකි. ඒ තුළින් කිසිදු දැනීමක් රසිකයාට ඇතිවන්නේ නැත. ඒවා රසවීදීම තුළ රසිකයන් හටද නිස්සාර වූ අර්ථ විරහිත වූ පුස් මානසිකත්වයක් ඇති වෙයි. එවැනි ගීත ජනප්‍රිය වී ඇති මෙවන් යුගයක ධම්මික බණ්ඩාරයන්ගේ එම ගීතය ඉතා ඉහලින් අගය කළ හැක්කේ ජීවිතයේ යථාර්තය, විරහව මැනවින් රසික හදවත් අතරට රැගෙන යන ධම්මික බණ්ඩාරයන් විසින් සමාජයේ එක් පැතිකඩක් පිළිබදව මැනවින් විදහා දක්වා ඇත. ඒ කෙසේ නමුත් හන්තානට පායන හඳ...... නම් වූ ගීතය වූ කලී සෞන්දර්යාත්මක වශයෙන් වටිනාකමක් ඇති නිර්මාණාත්මකව රචිත රසික හදවත් තුළට ඉතා තදින් කාවදින ගීතයකි. එය හුදෙක් එලෙස නිර්මාණය වූයේ ධම්මික බණ්ඩාරයන්ගේ දක්‍ෂතාවය නිසාය.

No comments:

Post a Comment

සන්නාලියනේ .....

                                                                          සන්නාලියනේ ..... ජීවිතයේ අපි කවදා කොහේ නවතීවිදැයි කිව නොහැක...